Asgiri Maha Seya

පන්සාලිස් වසක් මුළුල්ලෙහි සුවාසු දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලද ජීවමාන සුගත තථාගතයන් වහන්සේ මෙන් සුවහසක් දෙස් විදෙස් ලෝ දනන්ගේ
නෙත ගත සිත සැදැහැ සුවෙන් සනහාලන සිරිමත් දළදා සමිඳුන් වැඩ වසන නෙක පරදෙස් උවදුරු දුරුලමින් රට දැය සමය සුරැකි වීර ප්‍රතාපවත්
රාජාධිරාජ මහාමාත්‍යාදීන්ගේ නිජ බිමක් වූ මනහර රුක් ලතාවන්ගෙන් ශෝභිත ගිරි ශිඛර පෙළින් පවුරු බැඳි පිං බිමකි ඓතිහාසික සෙංකඩගල පුරවර ය.
මහාවිහාර නය අනතික්‍රමණය කරමින් පැමිණි ශ්‍රී ලාංකේය ආරාමික අධ්‍යාපන ව්‍යුවහයේ යති සලකුණ ඔපවත් කළ වත්මන් පාරිවේණික අධ්‍යාපනයේ මහ  ගෙදර වූ අස්ගිරි මහාවිහාර මහ පිරිවෙණ යට කී ඓතිහාසික සෙංකඩගල පුරවරයට ඤාණාලෝකය ප්‍රදානය කරන ප්‍රදීප ස්ථම්භයකි. මෙහි තෙවළා දහම
ප්‍රගුණ කරන තෙශතාධික හෙරණ පාණන්ගේ වත් පිරීමට හා සැදැහැති සාධු ජනයාගේ වන්දනා මානයට මහත් අඩුවක්ව පැවැති තුන් බෝධිය අතර එන
සෑ රදුන් ඉදිකිරීමේ අවශ්‍යතාව කාලාන්තරයක් මුළුල්ලෙහි අපට දැඩිව දැණුනු කරුණක් වූවා සේ ම සංස්කෘතික වශයෙන් ලෝක උරුම නගරයක් වන
සෙංකඩගල පුරවරයට ප්‍රවේශවීමේ දී සුවිශේෂි බෞද්ධ සංකේතයක් නෙත නොගැටීම ද අවධානයට වෙසෙසින් ම ලක්වූව කි.
එබඳු පරිසරයක් තුළ අප පාරිවේණික සැදැහැති දායක කාරකාදීන්ගේ ද මහත් වුවමනාව මත මෙබඳු භාරදූර කාර්‍ය්‍යක් සඳහා මුල පිරීමට අදිටන් කළෙමු.
එම මහඟු අරමුණු පෙරදැරිව රැස් වූ පාරිවේණික දායක සභාව විසින් චෛත්‍ය වර්ධන කමිටුවක් පිහිටුවා ගන්නා ලද අතර එවක වැඩ සිටි ස්‍යාමෝපාලි
මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වය
ද නොමදව ලැබිණි. එමෙන් ම දේශපාලන අධිකාරිය හා සැදැහැවතුන්ගේ මිලියන හැත්තෑවකට අධික මූල්‍යමය ආධාර උපකාරයෙන් මෙම සුවිසල් කටයුත්ත
මනරම් ලෙසින් නිමාවක් දැකීම ඉමහත් භාග්‍යයක් සේ සලකමි.
ශ්‍රීමත් දළදා සමිඳුන් වන්දනමාන කිරීමට සෙංකඩගල පුරවරයට පැමිණෙන දෙස් විදෙස් සාධු ජනයාගේ සිත් සතන් සනහාලීමට සමත් අස්ගිරි මහ සෑ රදුන්
සෙංකඩගල පුරවරයට සපයනුයේ මහත් ශ්‍රද්ධාලෝකයකි: සුපසන් දර්ශනයකි. තෙමහල් පහයකින් සමලංකෘත වූ සෑ රදුන් ශ්‍රී ලාංකේය භික්‍ෂු අධ්‍යාපනයේ
ඉතිහාසය ප්‍රකට කෙරෙන බෞද්ධ කෞතුකාගාරයකින් ද, සැදැහැවතුන්ගේ කායික මානසික සුවතාව සඳහා අවැසි චිත්ත විවේකාගාරයකින් හා ශාසනික
ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන විදහාපාන දර්ශනීය බිතුසිතුවමින් අලංකෘත වූ සෑ ගර්භයකින් ද ශෝභමාන වේ.